"මට ඉස්කෝලෙ පාඩමක් හරියට
උගන්නන්‍න බෑ. එක එකා ඇවිත් කියනවා පුතා කෙල්ලත් එක්ක අර හන්දියේ හිටියා. මේ
පාරෙන් ගියා. අතන කතා කර කර හිටියා. මෙතන කතා කර කර හිටියා. කියලා. අපිට පාරෙ
බැහැලා යන්න නෑ උඹ හින්දා" සැපට
නින්දක් දාන් හිටපු මම උඩ ගිහිල්ලා ඇහැරුනේ අම්මගෙ ගෝරනාඩුවෙන්.
මේ කියන්නෙ මටවත්ද මම හොරෙන් දොර
රෙද්ද අස්සෙන් කාමරෙන් එළියට ඔලුව දාලා බැලුවා. අපෝ නෑ මන් ආරක්ෂිතයි. මගේ එකම
සොයුරා මවගේ උදහසට ලක්ව ගෙට ගොඩවූ සැනින් බැනුම් අසමින් වචනයක්වත් නොදොඩා
සිටින දුක්බර දසුන තව දුරටත් බලා සිටීමට සහෝදර ප්‍රේමය ඉඩ නොදේ.
"මොනවද අම්මෙ අයියට ගෙට එන්නවත්
දෙන්නකො කාලි අම්මා වැහුණා වගේ කෑ ගහන්නෙ වට පිටටත් ඇහෙනවා. ලැජ්ජ නැද්ද දොර
ගාව ඉදන් කෑ ගහන්නෙ ?" කවදත් අම්මා සමඟ එකට එක කියන මම හඩ අවදි කලා.
එසැනින් අම්මාගේ අවධානය මා දෙසට
හැරුණු බැවින් අයියා එතනින් ගැලවී කාමරයට පැන ගත්තත් මා බැනුම් ඇසීම නැවැත්වීමට
කිසිවෙක් නොමැති විය.
"ආ නැගිට්ටද පන්දම්කාරයා. උඹත්
හැදියන් රට්ටු හිනස්සන වැඩ කර කර. ලබන අවුරුද්දෙ ඒ ලෙවල් කරන එකෙක් ඔහොම නිදාගෙන
හිටියම හරි යනවද. මම දන්නවා දවසක උඹ ඌට වඩා ලෝකෝත්තරයෙක් වෙලා තමයි නතර
වෙන්නෙ. මට අහුවුණා උඹේ මේසෙ තිබිලා කෙල්ලො දෙන්නෙකුට ලියපු ලියුම්. කොටකොට
ගිහින් මට්ටු වෙයන්කො අරූ වගේ කෙසෙල් ගහකට කොටලා. අපිට ලැජ්ජ කරන්න."
අම්මා මටද බනින්නෙ නැත්නම් අයියටද හිතා ගන්න බැරිය.
"අම්මා ඇයි මගේ කාමරේ අස් කලේ
ඒක ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්" මම තවත් ඇවිස්සුවා.
"ඇයි ඒක මේ ගෙදර කාමරයක්
නෙවෙයිද. පිස්සන් කොටුව වගේ. අනේ ඇත්තට පන්සලේ ලොකු හාමුදුරුවො මහණ කරන්න
ඉල්ලපු වෙලේ දුන්නනම් මේ මොකුත් කරදරයක් නෑ" අම්මා නවත්තන්නේ නැත.
" අනේ අම්වෙ මාව දැන් මහණ කරන්න
බැරිද මම මේ හරියට කල කිරිලා ඉන්නෙ."
මමත් නවත්තන්නෙ නැහැ.
"නෑ උඹව නෙවෙයි. උඹව මහණ කලොත්
සාසනෙත් ඉවරයි. පොඩි කාලෙ ඉදන් වලිගෙ වගේ මගේ පස්සෙම උපාසකයා වගේ එල්ලිලා
හිටපු උඹලා අයියව තමයි හාමුදුරුවො ඉල්ලුවෙ. ඕකා හිටිය විදිහට කවුද හිතුවෙ මේ
වගේ වැඩක් කර ගනී කියලා" අම්මා තාමත් කූල් වී නැත.
"ඇයි දැන් අයියා මොනාද කරල
තියෙන්නෙ" මගේ ප්‍රශ්නයට අම්මා පිළිතුරු වෙනුවට අතේ තිබුණ පොල්කටු
හැන්දෙන් දමලා ගහලා කුස්සියට ගියා. ඒ ගිය විදිහට හවස තේ එකත් නැති වෙන බව
ස්ථිරයි.
අම්මා කියන්නෙ ඇත්ත. දරුවො පස් දෙනෙක්
ඉන්න අපේ පවුලෙ ඉන්න නිහඩම චරිතෙ තමයි අයියා. හැම තිස්සෙම අපෙන් එක එක වැඩ ගන්න
ලොකු අක්කාත් කටකාර පොඩි අක්කාත් හැම දේටම කියවන නිසා "අසාධාරණේ"
යයි නම් පට බැඳුනු මමත් අවශ්‍යම වෙලාවට දරුණුම ප්‍රතිචාර වචනයෙන් දෙන කාට හරි ගහලා
වැඩේ කර ගන්න පවුලෙ බඩපිස්සි වන නංගීත් එක්ක සැසඳූ කල අයියා පට්ට අහිංසක චරිතයකි.
එහෙත් හැම විටම එහෙම නොවන බව දන්නේ
බව දන්නෙ අයියත් එක්ක එකටම ඉන්න මා පමණි. ඔහු ගත් තීරණයක් වෙනස් කරන්නේ ඉතාම
කලාතුරකිනි. වරක් පාසලේ මිතුරෙකු කල නොමනා විහිළුවක් හේතුවෙන් අයියා අදටත්
ඔහුගේ මුහුණවත් නොබලයි.
එමෙන්ම අයියාගේ මේ බැනුම් අහන ආදර
නම්බන්ධතාවය ගැන මුලින්ම ගෙදරට ඇවිතු අම්මාගේ කනේ තිබ්බ මාගරට් ඇන්ටි අයියාට
පෙන්නන්න බැරිය. කොටින්ම එයාලගෙ ගෙවල් තියන පාරෙන්වත් අයියා ඉන්පසු ගොස් නැත.
ලොකු අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල් නිසා
ඇය සෑම විටක අම්මා තාත්තා මෙන් නිතරම ඉහලින් සිටි නමුත් මට වඩා අවුරුදු 7කින් වැඩි
පොඩි අක්කා අපට වඩාත් ආදරේයයි මට දැනී ඇත. අයියා මට වඩා අවුරුදු 2ක් වැඩිමල් වූ
අතර බඩ පිස්සී මට වඩා අවුරුදු තුනක් බාලය. එබැවින් නිතරම එකට සිටියේ අයියත් මාත්
නංගීත්ය.
පාසලේ මට මගේ මිතුරන් මෙන්ම අයියාගේ
පන්තියේ මිතුරන්ද හිතවත්ය. බොහො විට මා ලෙඩක් දා ගත් විට මා බේරා ගැනීමට
මැදිහත් වන්නේ අයියා නොව ඔහුගේ මිතුරු කැලයි.
පාසලේදී මාහැම විටම ගුරුවරුන්ගේ
ගැරහුමට ලක්වුවත් අයියා ඔවුන්ගේ හොඳම ශිෂ්‍යයෙකි.
එබැවින් සාමාන්‍ය පෙ විභිගයේදී D අටක් ගත් අයියා කිට්ටුවටවත් මා නොඑන බව එම
ගුරුවරුන් පාසලේදී නිතරම මට මතක් කර දුන්නෝය.
සැබවින්ම ඔවුන්ගේ හැකර කටවල් වැහුණේ
මගේ සාමාන්‍ය පෙල ප්‍රථිපල දුටු දිනය. D 7යි. C එකයි.
මගේ නමට ඉදිරියෙන් සටහන් වීම මාද පුදුම කරවන්නක් විය.
හැබැයි එදා සිට මාද අප පවුලේ පොරක්
විය. අයියාට පසු ඒ මට්ටමෙන් ඕ ලෙවල් පාස් වූවේ මා පමණි.
උසස් පෙල ගණිත අංශයෙ අයියා ඉගෙනුම ලැබූ
කාලයේ අම්මාත් තාත්තාත් බලා පොරොත්තු පොදි බැදන් හිටියේ ඉංජිනේරුවෙකු
බිහිවෙනු ඇතැයි එකෙන්ම සිතාගෙනය. ඉතින් ඒ ට්‍රැක් එකෙන් අයියා පිට පැන්න දා සිට
අම්මාත් තාත්තාත් දුටු තැන අයියාට බැනීම සිරිතක් කර ගෙන ඇත.
Comments
Post a Comment